මම උඹේ අම්මා….

>> Tuesday, September 20, 2011


කාණු පල්ලක ලැග
තෙමෙමින් වැටෙන වැසි දියට
දනන් පා පහර වැද
නුඹව මා මේ ලොවට බිහිකලේ…

නොදන්නා බල්ලෙකුට ජාතක
අවජාතක කුක්කෙකු වුවත්
නුඹ මට මහරු මැණිකකි
කුණු ගොඩක මැස්සන් සමඟ විසුවත්..

මැක්කෝ කිනිතුල්ලෝ
මදුරුවෝ තරඟෙට ලේ උරන
ඒ ලෙයට හරියන්ට
මගේ කුසපොත්තේ ලොට තන
උඹට දුන්නා මතකයි..

දවසක් හැන්දෑකරේ
යාන්තමට ඇහැපියද්දි
එක අණ්ඩක් උස්සගෙන
උඹ බෑරි ගාගෙන පැන පැන එද්දි
ඔය සිඟිති පය තලා පොඩි කල
නම නොදන්න යකඩ සතා
මටත් සැර දාගෙන දිව ගියා..

එදා ඉදන් අද වෙනකම්
තුන් කුන්දු පනින උඹත් එක්ක
ඌ ආයෙ එනකම්
මම මඟ බලා ඉන්නවා…

පසු සටහන : බල්ලන් වාහන පසුපස එලවීම ගම්බද මාවත් වල සුළබ උවත්, නගර වල බල්ලන්ට වාහන හුරුය.
කොහුවල පෙරේරා මාවතේ සිටින එක බැල්ලක් ඉතා අසාමාන්ය ලෙස වාහන වලට කඩා පනියි. ඇය පස්සේ නිතර දැවටෙන පැටවුන් දෙදෙනෙකි. එක් පැටවෙකුගේ කකුලක් බිඳි , නිතර එය උස්සාගෙන් සිටී. මා සිටන පරිදි, ඒ අහින්සක බලු පැටවාට ඒ විපත වන්නට ඇත්තේ වාහන අනතුරක් නිසා විය හැකිය. බැල්ලගේ අසාමාන්ය කෝපය එයට දෙස් නොදේද?
මනුස්ස අප මෙන්ම සතුන්ද දරුවන්ට ආදරය දක්වයි.

බොල් වී…

>> Monday, September 12, 2011




සුළඟත් සමඟ පහලට වැටෙන
රන්වන් වියැට අතරින්
බොල්වී පෙරී වෙන් වී
කමත කෙලවර, ගොඩක් වී නැඟෙයි…

ඉඳහිට එක දෙකක්
සරු වියැට, ඒ අතරට
අහම්බෙන් එකතු වෙයි, නොදැනීම …

උදෑසන බොල් පින්නට තෙමී
එවන් තනි වී ඇට
නිල්වන් නව දළු නඟා
වියලි පොළවෙත් මුල් අදියි…

පොහොයක් දෙකක් ගෙවෙන සඳ
ඒ නව යොවුන් වී පැල
සුළගේ නටන රිදී වන් පත් සමඟ
පුරන් කුඹුරේ කොළ පැහැ මවයි…

ඊළඟ යලට අස්වද්දන්ට
බිම හෙලන පලමු උදළු පහරට
අසරණව අසුවන ඒ පැල පොඩි
කුඹුරටම දිරා පස් වී යයි…

පුංචිමහත්තයා….


දන්නා ලෙසට හැකිවිට තම නම ලීව
නෑ සිය පිරිස දෙගුරුන් වත් නැහ කීව
උපනත් ගමේ අසරණ ළඳකට දාව
පිය පරුසවය අප්පෝ බව සිහි පෑව…!

වෙල අසබඩ ඉඳිවුන පොඩි පැල් කොටය
තවෙකුට තබා ඔහුටම වත් ඉඩ මදිය
වලං මුට්ටි සහ ඔහු සතු අඩු වැඩිය
ගෙයි මුල්ලේ පෙට්ටි කබලක ඉඩ සරිය

අඹුවක් කිසිම දවසක නෑ කැන්දෑවේ
වෙරිමත සමඟ අඹුවක් ඇති බව පෑවේ
බනිමින් දෙස් දෙවොල් තබමින් හැන්දෑවේ
බිරිඳැයි සිතා පන් පැදුරට තඩි බෑවේ….!

උදෙහිට රෑ වනතුරු මත් ඇසිල්ලේ
පොල් රා සුවඳමයි මුව විට පෙවිල්ලේ
තොල ගෑ නමුත් රහමෙර ලද ඇසිල්ලේ
ඔහු ළඟ නොමැත නොසරුප් බස් කිවිල්ලේ

ඔහුගේ රැකියාව ගස් ගෙඩි කැඩිල්ලය
ගසකින් ගසක ගොස් බඩ ගා නැඟීමය
කැඩු ගස් ගනන පොල් කොලයක ලිවීමය
ලද දේ සතුටු වී ඉවතට ඇදීමය

දන්නා කවි ශ්ලෝක තරමට නිමක් නැතී
ගයනා විටදි වන්නම් දහ අටම ඇතී
ගිය පාසලක්, පන්සලකුත් ඔහුට නැතී
පොත් දාහකට වැඩි මතකය! දෙය්යො දනී

ඇවිදින බකල ගමනය, මුව හිනාවය
ගමනක් යද්දි හිස පළඳින ජටාවය
පොල් ගස් නඟිද්දී අමුඩය මනාවය
සරම් දෙකින් පිරිමහගත් ප්රමාණය.

දවසක් ගමේ චංඩියෙකුගෙන් ගුටි කෑව
නාහෙන්, කටින් ලේ පෙරමින් දුව ආව
රිදුනත් සියොලඟම එකලෙස මුළු රෑක
ඔහු නෑ ගියේ පොලිසියකට කිසි දාක…

වන්නි දෙවොල් බිම…

>> Friday, August 19, 2011

වන්නියේ වෙඩි සැරට
කැඩී විසිරුණ දෙවොල් තුල
අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල
ඉඳ හිට දැල්වෙන පහන්
තවමත් ඇත …….

අවතැන්ව ගාල් වුන
වන්නියේ ජනතාව
ගෙනැවිත් අතැර දැමූ
බොන්න දිය බිඳකුඳු නොමැතිවම ….

කලකට පෙර - තමන්ගෙම වූ ගේ දොර
අවශේෂ උළුඅහු, කුළුණු පාමුල
එලාගත් ඉටිකොල, පන් පැදුරු මත
දරු මුණුබුරන් සමඟ - පිනට ලද දෙයක් බුදිමින්….

ඒ මිනිස් සිත් වල
එක් විශ්වාසයක් ඇත
කඩා වැටුනු දෙවොල් තුල
තවමත් දෙවියන් වැඩ සිටින බව
තමනට පිහිට වන බව…

2011.08.17

සිහිනයක්…..

>> Sunday, August 14, 2011

මේ අදුරු මැදියමේ
කොහේදෝ සිට ගලන
තෙතබරිත කොල පුසුඹ
සැනින් මට අඬගසයි…

වශී වී ඒ මඟට
හනික ඉවකර සුවඳ
ගොළු බසට අවනතව
හනි හනික පා නඟමි…

ගැටී කැබලිති දෙපා
ඇනී මළකඩ කම්බි
ඇදී ගොස් ගවු ගනන්
සිහිනෙන්ම නතර වෙමි…

දොලොස් වසකට පලමු
ඔබෙන් මා සමු ගැනුනු
පාළු සොහොනක් අසල
නතර විය ඒ සුවඳ…!

පිරුණු පස් ගොඩක් යට
දිරා ගිය ඇට කැබලි
ඔබ නොවේ යයි දනිමි
එහෙත්, සිහිවටනයකි….

අතීතේ සුවඳ පොද
ස්වප්නයක ඉවකරන්
මසැස් බැල්මෙන් මුදා
මනැස් බැල්මක් හෙලයි…

ඒ ලොවට ඉගිලෙන්ට
තවම අවසර නොමැත
මේ ලොවට ඇද තබන
එක් පෙකණි වැලක් ඇත…

සොඳුර !ඔබ නවතින්න
තව මදක් ඉවසන්න
මේ සොහොන් පිටියේම
දිනෙක මා සුව සොයමි..

එතෙක් මේ සුවඳ පොද
බිඳක් අහකට ගන්න
අඳුරු රැය කලඹවා
මා වෙතට නොම එන්න…

2011.08.03

මහා වාපිය..

>> Sunday, July 17, 2011


මේ ගඟ මෙතැනින් නැවතිනි..

මහ වේල්ල ලඟ
රළපතර නඟන වැවක් ලෙස….

එක් පසෙක,
හිරු රැසින් ගිනියම්ව කැකෑරෙන
පුලින තලයක් ඇත..

සුපෙම්වත් එ ගං කොමළිය
රැඳී තවමත් අනිත් පස නැත
ගැඹුරු කළු දිය කඳ
වැවක් සේ රැළි නඟා හැසිරෙත..

ඉදහිට වහින මහ වැස්සට
වාන් දමන දිය කඳ
පෙරදා රැළි නැඟූ පුලින තලයට
විගස දුව ගොස් දුක කියයි…

2011.07.11


අබිසරුලියගේ මධුසමය.

>> Thursday, July 7, 2011


පරණ බඳුනක
අළුත් මිදි යුෂ
දෝත පා පිළිනඟමි
මම ඔබට ….

දහසක් දනන් තොල ගෑ
මේ පැරණි බඳුනේ
මධු බී මත්ව සරනා
කිසිදා මධු නොදුටු
බඹරා නුඹ….

බඳුනට දෙතොල් තබා
රස ඉරූ අය බොහෝය..
ඒ රස මිදි යුෂට
එක්කල හලාහල විෂ
බොහෝය ….

නොකල වරදකට නොදැන
හලාහල විෂ බොන නුඹ
කමා කරන් මට
පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…

2011.07.04


පිපෙන පරවෙන මැයි මල්……

>> Monday, June 13, 2011


මේ පිපෙන පරවෙන මැයි මල්
එදවස පිපුණා නම්……

වියපත්ව ,වියළිව
සුළඟින් මිදී තෘණ මත වැටෙන….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

පීදී කරලින් බරව
නෙක තුරු රටා මවමින්
ඵල දරන්නට තිබිණි….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

2011.06.13


>> Tuesday, May 31, 2011

බස් එක
කොට කොට නොසිට
ඉක්මනට ගෙදර යා ….

අද පඩි දවස ….

පුතාට ගත් හිම කිරම
දැනටමත් බාගයක් දිය වෙලා…

හිම කිරම = ice cream

2011.03.11


ගී මී විත

>> Monday, May 30, 2011


මේ සීමා මායිම් කඩුළු පැන
මී විතක් ගෙන - ගී පොතක් ලඟ
ඇස් අඩවන් කර සම්මෝහ නිද්රාවක
ගී ලියන්නට සිතෙයි මට…..

වැලි බදාම හුණු කුඩු අතරේ
කටු ගෑ සටහන් සිතුවම් අතරේ
මා ආසා කල හද බැඳි කවි සිත
කෙමෙන් කෙමෙන් මිය ඇදෙන්න යාවිද?

2011.03.05


වෙසක්….

>> Thursday, May 12, 2011


පෝය සඳේ සුදු සඳ රැස්
පෙරී අවුත් පත් අතරින්
සවස අමැදි බෝ මළුවේ
බුදුරුව සිතුවමට නඟයි….

නිසසල මුකුලිත කොඳ මල් 
රෑ අඳුරේ ඇහ ඇරවා
රෑ කොවුලෙක් මියුරු හඬින්
බුදුගුණ ගායනා කරයි …..

සිතට ගතට සුවය ගෙනෙන
තෙත් බර මදරැලි පවනැල්
ඈත ලොවක හමා ඇදී
දෙව්බඹු මෙලොවට වඩවයි…….

2011.05.07


තෙමිච්ච ලෙච්චමී ….

>> Thursday, May 5, 2011


තෙමිච්ච ලෙච්චමී
තේ පඳුර ලඟ
තෙමිච්ච කිකිළි වගේ
කකුල දිගේ නගින කූඩැල්ලෝ
ඇඟිලි තුඩින් ගෙන
තේ පඳුරු මත ….

කොටම කොට කලිසම් අඳින
ත්රී රෝසස් සිගරැට් බොන
වත්තෙ පුල්ලෙ
ජීප් කට්ටේ ටවුමට ගිහින් එන ගමන්…

තෙත සාරිය විනිවිද පෙනෙන
ලෙච්චමීගෙ රූ සපුව
සුරුස් ගා නෙත් කොනින් උඩට ඇද
ජීප් කට්ටේ එල්ලෙන්ට
මහත්තයා අඬ ගසයි ඇයට…

“එපා මාතියා… මම පෂ්ෂේ එන්නම්”

කකුලේ එල්ලෙන 
කොට මහත ලේ බුබුළු කූඩැල්ලෝ
පුල්ලෙට වඩා තවත්
ලේ බොන කූඩැල්ලෝ කොහිද?

තෙමිච්ච ලෙච්චමී
තවමත් තේ පඳුර ලඟ

කූඩැල්ල ලේ නොබී යන්න ගිහින්…

2011.04.28


මුහුණු …..

>> Friday, March 4, 2011

උදෑසන වැඩ පලට යන විට
ඉදිරියට මුණ ගැසෙන
විවිධාකාර
ගැහැණු පිරිමි මුහුණු…

සිනා පොදක් නැති
කතා බහක් නැති
ඉළූ වත්සුණු සුවඳ යටින්
තරහව, විරහව
උතුරා ගලන….

ඉහට උඩින් පායන ඉරමල
දින, සති ගනනකින් දැක නැති
ඉක්මනින් කිපෙන
බිමට හැරුණු මුහුණු …..


2011.03.03

බෙහෙත්

>> Thursday, March 3, 2011


තැබෑරුම අසබඩ
ඔසු සල..


ඒ ඒ ලෙඩට
ඒ ඒ බෙහෙත්…

2011.03.03


දයාබර අප්පච්චි….

>> Sunday, February 27, 2011


ඔබ නික්ම ගිය දින සිට
තවමත් දුක්බරය ජීවිත තනුව
ගොළුව ගොස් ඇත කවිසිත
ඵල රහිත නිස්සාර ජීවිතය
යළි යළිත් සිතෙයි මට…

එක්කර සියළු වෙර
දුබලව ගිය ගත වාරුවට
ඇවිද ගොස් ගිලන් හල් ගානේ
තැතනු හැටි ඉටු කරන්නට යුතුකම්
දූ දරුවන් වෙනුවෙන්..
සිහිවන මතක පොද
සඳ නැඟ එන රැයක
නිදි නැති විටෙක
නෙත් කෙවෙනි තුල කඳුළු ලෙස
තවම උතුරා ගලයි…

සරත් සඳ බැස යන තුරුම
වසත් සඳ නැඟ එන තුරුම
පින්නෙන් පෙඟුන තුරුපත් අතර
සඳ දිය උතුරා ගලා
ඔබ නිදන පොලවේ
මිහිරැති සිත්තම් මවයි
ඒ සිත්තම් අතර
බොඳවුන සුදු රුවක් ලෙස
ඔබේ රුව යලි යලිත් මැවි මැවී
සෙනෙහසින් මගේ හිස පිරිමදියි…..

2011.02.22

රටකජු….

>> Saturday, February 5, 2011

රෑ දහයේ අන්තිම බසයේ
සෙනඟ අඩු අසුනක හිඳ
යුහු යුහුව රටකජු
ගිල දමන යුවතිය …..

දොලොස් පැය වැඩ මුරේ
නින්දට පෙර ලැබෙන
අන්තිම කෑම වේල
ඔය රටකජු මුල බව
අදහමි කෙලෙස?



යන මඟ…

>> Sunday, January 16, 2011


හතර දෙන 
හතර කොණ
දෙණ
ඔසවා ගෙන යන සඳ
කනත්තට….

පසුපසින් නැඟෙයි
ගොර බිරම් නළා හඬ
රිය සක….

ඇවුරුණ බැවින් මඟ
මොහොතකට…..

2011.01.13


ආත්මය …

>> Saturday, January 15, 2011


ශරීරය නම් කලය තුල
වටකුරුව ගුලි ගැසී නිදන
විස දළැති
ස්ර්පයෙකු වැනිය
ආත්මය …….

කවා පොවා ඇති දැඩි කල හැකි
හිස අතගා වුව සුරතල් කල හැකි
කිසි විට කොයි ලෙස පහර දේවිදැයි
සිතා ගන්න බැරි….


Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP