මම උඹේ අම්මා….

>> Tuesday, September 20, 2011


කාණු පල්ලක ලැග
තෙමෙමින් වැටෙන වැසි දියට
දනන් පා පහර වැද
නුඹව මා මේ ලොවට බිහිකලේ…

නොදන්නා බල්ලෙකුට ජාතක
අවජාතක කුක්කෙකු වුවත්
නුඹ මට මහරු මැණිකකි
කුණු ගොඩක මැස්සන් සමඟ විසුවත්..

මැක්කෝ කිනිතුල්ලෝ
මදුරුවෝ තරඟෙට ලේ උරන
ඒ ලෙයට හරියන්ට
මගේ කුසපොත්තේ ලොට තන
උඹට දුන්නා මතකයි..

දවසක් හැන්දෑකරේ
යාන්තමට ඇහැපියද්දි
එක අණ්ඩක් උස්සගෙන
උඹ බෑරි ගාගෙන පැන පැන එද්දි
ඔය සිඟිති පය තලා පොඩි කල
නම නොදන්න යකඩ සතා
මටත් සැර දාගෙන දිව ගියා..

එදා ඉදන් අද වෙනකම්
තුන් කුන්දු පනින උඹත් එක්ක
ඌ ආයෙ එනකම්
මම මඟ බලා ඉන්නවා…

පසු සටහන : බල්ලන් වාහන පසුපස එලවීම ගම්බද මාවත් වල සුළබ උවත්, නගර වල බල්ලන්ට වාහන හුරුය.
කොහුවල පෙරේරා මාවතේ සිටින එක බැල්ලක් ඉතා අසාමාන්ය ලෙස වාහන වලට කඩා පනියි. ඇය පස්සේ නිතර දැවටෙන පැටවුන් දෙදෙනෙකි. එක් පැටවෙකුගේ කකුලක් බිඳි , නිතර එය උස්සාගෙන් සිටී. මා සිටන පරිදි, ඒ අහින්සක බලු පැටවාට ඒ විපත වන්නට ඇත්තේ වාහන අනතුරක් නිසා විය හැකිය. බැල්ලගේ අසාමාන්ය කෝපය එයට දෙස් නොදේද?
මනුස්ස අප මෙන්ම සතුන්ද දරුවන්ට ආදරය දක්වයි.

5 විවේචන:

නලිනි චන්දිමා September 20, 2011 at 10:34 PM  

නිමිත්ත අප කතා කළ යුතුම දෙයක්. පාරවල් අයිනෙ එක්කො මිය ගොස්, නැතිනම් ආබාධිතව ඉන්න සතුන් අප කොච්චර දකිනවද? ඇතැම් වෙලාවක අපේ ඇස් පනාපිටම.
දවසක් රෑ පානෙ ගෙදර යද්දි, දුටු දසුනක් සිහි වුණා.
පාරෙ මුළින්ම අපි දැක්කෙ කඳින් වෙන් වුණු බලු පැටවකුගෙ හිසක්. හරිම ලස්සන, බෝල ගෙඩියක් වගේ පැටියෙක්. එතනින් එහාට පාරෙ තැලී පොඩි වුණු, ලෙයින් වැකුණු සිරුරු කොටස්, මීටර් කිහිපයක් ඈතට යනතුරු. කෙළවර, තවමත් තම පැටියා මිය ගිය බව නොදන්න බැල්ලක, අර සුණුවිසුණු මස් කැබලිවලට ඉව කරනවා. සුපුරුදු සුවඳක්, ඒත් කොහොමද ඒ කියලා ඇයට හිතෙන්නට ඇති.

Il mondo di una povera pazza September 20, 2011 at 11:05 PM  

මට මතක් වුනේ මෙහේ තියෙන නීතියක්. වැරදීමකින් හරි බල්ලෙක්ට හිරි හැර කරලා හෝ අතරමං කරලා අහු උනොත් මෙහේ දඩ ගහනවා. කොටින්ම මෙහෙ බල්ලෙක් හදන්න ගන්න ඉස්සෙල්ල නීති වගයක් තියෙනවා. බොහෝ වෙලාවට කෙනෙක් නොතකන. ඒත් කවදාවත් පාරේ අසරණ කරන්නේ නෑ බල්ලෙක්.
මගේ පොඩි පුතා ලංකාවට ආව ගමන්ම පාරේ ඉන්න බල්ලෝ ඔක්කොම ගෙදර ගේන්න හැදුවා. මට වුනත් අදටත් පාරේ බල්ලෙක් ඉන්නව දකිද්දි දැනෙන්නේ අමුතු හැඟීමක්. කවුරු මොනවා කීවත් ඔටාරාගේ ප්‍රෝග්‍රෑම් එකට මම කැමතිත් ඒක වෙන්න ඇති.
ඔයාට මතකද ගමේ ඔයාලගේ ගෙවල් හරියේ තියෙන අර ප්‍රසිද්ධ බේකරිය. ඉස්සර එතනත් හෙන බල්ලෝ සෙට් එකක් හිටියා දැන් නම් මම ඒ තරම් දැක්කේ නෑ. අපේ අයියා නම් කීවේ දැන් එහෙම බල්ලෝ එකතු කරන කතාවක්. එක අතකින් ඒකත් ලොකු දෙයක්. නැත්නම් ඒ බල්ලෝ ඔක්කොම වාහන වලට යට වෙලා මැරිලා යනවා විතරයි.

Luckey September 21, 2011 at 12:00 AM  

අද බොහෝදෙනා ළඟ තියෙන්නෙ ප්‍රදර්ශනාත්මක සත්ව කරුණාවක්. ඒක බොහෝ විට ගෙදර පොමනේරියන් බල්ලට සීමා වුන එකක්. පාරෙ යන නකුටු බල්ලන්ට ගල් ගහලා එලවනවා ගෙදර බල්ලට මැක්කෝ බෝ වෙයි කියලා...ගෙදර බල්ල මැරුණම දාන දීලා සොහොන් කොතකුත් බඳයි..ඒත් පාරෙ යන බල්ලට පාං කෑල්ලකින් දමලා ගහන්නවත් කරුණාවක් නැහැ...

රසික බලන විදියට අපි හැමෝටම බලන්න පුලුවන්න නම් මම හිතන්නෙ සත්තුන්ගෙ විතරක් නෙවෙයි, අපේ ලෝකෙත් ලස්සන වෙයි..

කස්සා September 21, 2011 at 1:35 PM  

මවකගෙ ආදරේට වෙන දෙයක් සමාන කරන්න බැ.මම හිතන්නෙ රසික අයියට ඒක තේරෙනව ඇති...අපේ පැත්තෙ අවෙ නැතත් ඔන්න අපි ඇවිත් ගියා.

රසික වික්රමනායක September 21, 2011 at 8:56 PM  

@ නලිනි අක්කා : බල්ලන් විතරක් නෙවෙයි.. ඊටත් වඩා වටින සත්තු අනන්තවත් මැරෙනවා..
අපි එක පාරක් අඩි සීයෙ පාරෙ (උඩවලව - මොණරාගල) උදේ පාන්දර මැරිච්ච සත්තු ගනන් කර කර ගියා.. සත්තු 30 ක් විතර එතන මැරිලා හිටියා.. කොක්කු, මුගටි, ඉබ්බො, තලගොයි, සර්පයො (නයෙකුත් හිටිය) …ඒ වගේ ගොඩක් සත්තු.. අදහස් දැක්වුවට ස්තුතියි අක්කා….
@ Il mondo di una povera pazza : ඔයා කවුද කියන්න මම හරියටම දන්නෙ නෑ. ඒත් මාව හොඳට දන්න පාටයි..
මෙහෙත් එහෙම නීති තියෙනවා, පොතේ විතරයි.. මිනිස් ජීවිත් බලු නොවටින රටේ බලු ජීවිත ගැන කුමන කතාද?
@ ලකී : අදහසට ස්තුතියි..
@ කස්සා : එහෙම නෑ මල්ලි.. මම ඔසී කතා නම් නිතරම බලනවා.. ඒත් මම වැඩිය කමෙන්ට්ස් දන්නෙ නෑ. මේ පැත්තෙ ආවට ස්තුතියි…

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP