පුංචිමහත්තයා….

>> Monday, September 12, 2011


දන්නා ලෙසට හැකිවිට තම නම ලීව
නෑ සිය පිරිස දෙගුරුන් වත් නැහ කීව
උපනත් ගමේ අසරණ ළඳකට දාව
පිය පරුසවය අප්පෝ බව සිහි පෑව…!

වෙල අසබඩ ඉඳිවුන පොඩි පැල් කොටය
තවෙකුට තබා ඔහුටම වත් ඉඩ මදිය
වලං මුට්ටි සහ ඔහු සතු අඩු වැඩිය
ගෙයි මුල්ලේ පෙට්ටි කබලක ඉඩ සරිය

අඹුවක් කිසිම දවසක නෑ කැන්දෑවේ
වෙරිමත සමඟ අඹුවක් ඇති බව පෑවේ
බනිමින් දෙස් දෙවොල් තබමින් හැන්දෑවේ
බිරිඳැයි සිතා පන් පැදුරට තඩි බෑවේ….!

උදෙහිට රෑ වනතුරු මත් ඇසිල්ලේ
පොල් රා සුවඳමයි මුව විට පෙවිල්ලේ
තොල ගෑ නමුත් රහමෙර ලද ඇසිල්ලේ
ඔහු ළඟ නොමැත නොසරුප් බස් කිවිල්ලේ

ඔහුගේ රැකියාව ගස් ගෙඩි කැඩිල්ලය
ගසකින් ගසක ගොස් බඩ ගා නැඟීමය
කැඩු ගස් ගනන පොල් කොලයක ලිවීමය
ලද දේ සතුටු වී ඉවතට ඇදීමය

දන්නා කවි ශ්ලෝක තරමට නිමක් නැතී
ගයනා විටදි වන්නම් දහ අටම ඇතී
ගිය පාසලක්, පන්සලකුත් ඔහුට නැතී
පොත් දාහකට වැඩි මතකය! දෙය්යො දනී

ඇවිදින බකල ගමනය, මුව හිනාවය
ගමනක් යද්දි හිස පළඳින ජටාවය
පොල් ගස් නඟිද්දී අමුඩය මනාවය
සරම් දෙකින් පිරිමහගත් ප්රමාණය.

දවසක් ගමේ චංඩියෙකුගෙන් ගුටි කෑව
නාහෙන්, කටින් ලේ පෙරමින් දුව ආව
රිදුනත් සියොලඟම එකලෙස මුළු රෑක
ඔහු නෑ ගියේ පොලිසියකට කිසි දාක…

5 විවේචන:

නලිනි චන්දිමා September 12, 2011 at 1:01 PM  

වෙනදට රසිකගෙ කවි කියවනකොට මට සිහි වෙන්නෙ මහගම සේකර. මේක කියවද්දිනම් අර අය්යනායක කවි එහෙමත් මතක් වුණා. අපූරු පදපෙළ.
ජය!

දිල් September 12, 2011 at 2:51 PM  

අපූරු පද ටිකක්...අපෙ ගමේ උන්න සියාතුව මතක් උනා..මනුස්සයාගෙ රස්සාවත් ගස් ගෙඩි කැඩීම.උදේට හොයන දේ හැන්දෑ වෙද්දි කසිප්පුවට පුද දෙනවා..කවදාවත් කසාඳයක් බැන්දෙත් නෑ...මේ කවි කියවද්දි මට හිතුනෙම රසික අයියා සියාතු ගැන කියනවා කියලා මයි.....

රසික වික්‍රමනායක September 12, 2011 at 3:25 PM  

පුංචි මහත්තයා අපේ ගමේ ජීවත් වූ අව්යාජ ගැමියෙකි. මෙම කවි පෙලේ සියළු සිදුවීම සත්ය වශයෙන්ම සිදුවූ ඒවාය. වෙරි මතින් පොල් ගස් නැග්ගත් ඔහු කිසි දිනෙක ගසක් මුල පතබෑවී නැත.
අබල දුබල වූ පුංචි මහත්තයා ගම්මුන් විසින් වැඩිහිටි නිවෙසකට බාර දෙන ලදී. ඔහු එහිම මිය ගිය බව ආරංචි විය.
දිනක් උදේක මිය ගියායැයි සිතූ පුංචි මහත්තයා නැවත ගමට ආවේය. ඔහුගෙ පැල ඒ වන විට දිරා ගිස් තිබූ බැවින් කනත්තේ සොහොන් ගෙය ඔහුගේ නවා තැන විය. ගම්මුන් ඔහුට කෑම ගෙනගොස් දීම පුරුද්දක් කර ගත්තේය.
ටික කලකට පසු ඔහු මිය ගියේය. මේ දැන් වසර දහයකට පමණ පෙරය.
ඔහුගේ පැල්පත දැන් මූකලානක් විසින් ගිල ගෙන ඇත. එතැන නව නිවසක් සැදීමට කවුදෝ අදහස් කරගෙන සිටිතියි අම්මා ළඟදී මට කීවාය.

මාරයාගේ හෝරාව September 12, 2011 at 6:20 PM  

"උපනත් ගමේ අසරණ ළඳකට දාව
පිය පරුසවය අප්පෝ බව සිහි පෑව…"

මොකක්ද මේ නොකියා කීව දේ..?
අනිත් අතින් පුංචි "මහත්තයා" වීමත්..?

අදහස් කලේ කුමක් වූවත් ඒ හරහා දැනෙන්නේ නම් අයිතිය අහිමි උන ලොකු පුරුකක් වගයි

කොහොම උනත් කවි පංතියේ කවි එකකට එකක් අනිකට ලස්සනට ඇමිණිලා තියෙනවා...

රසික වික්‍රමනායක September 12, 2011 at 7:39 PM  

@ නලිනි අක්කා : ඔව්. මම විමලරත්න කුමාරගමගෙ කවි විලාශයට ගොඩක් ආසයි.. “අය්යනායක” ඒ අතරින් විශේෂයි.. ස්තුතියි…!
@ දිල් : මේ මනුස්සයා මම දැක්ක ගොඩක් න්ර්වියාජ චරිතයක් දිල්.. ඒ මනුස්සකම අද සමාජයේ උසස් යැයි සලකන පැලැන්තියටත් නෑ.ස්තුතියි ඔයාට..
@ මාරයා : මේ මනුස්සය ගමේ අප්පොට දාව ගමේ ගෑනියෙක්ගෙ කුසේ ඉපදුනයි කියලයි ගම්මු කියන්නෙ. පුංචි මහත්තයා කියන්නෙ නම් නම. ස්තුතියි!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP