කාබුල් කවි.
>> Saturday, October 8, 2016
තිලකා ඇවිත්
>> Monday, July 11, 2016
ජීවිතය මල්ලක දාගෙන
අමු මිරිස් තුනපහ
සීනි සීයක්
ගංජ මිටියක්
...
දොස්තර දැක්කොත් බැනුං
ඒ උනාට උන්නැහෙට තේරෙන්නෙ නෑ
අපේ ජීවිත වල දිගක් පලලක්
ලියන ලැයිස්තුවට පෙති
ෆාමසියෙන් අරං
බොනවට වඩා ගංජ හොදයි සුමනෙ
කැස්ස තුනී වෙනව
ඇස් වලට නිල් එලි එනව
කොහුමෝලෙ මුදලාලි
ජීවිතේ උකස් කරපු දෝනිගෙ ඇස්
ඒ නිල් එලිය අස්සෙ පේනව
එක පාරට ගැස්සිල
පියවි ලෝකෙට එනව
තිලකා ඇවිත්
ජීවිතේ මල්ලක දාගෙන
අප්පච්චි ගිහින් දුර ඈත
>> Friday, July 8, 2016
හීනෙනුත් සෙල්ලම් කර
පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට
අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි
චූටි මැනිකේ නිදි අතර
අප්පච්චි ගිහින් දුර ඈත
කදුලු වැක්කෙරන ඇස් වලින්
දුවට සමුදෙන්න බැරි නිසා
චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා
අප්පච්චි ගිහින් දුර ඈත
දූගෙ මල් මල් කොට්ටය උඩ
අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති
අහස් වියනට උඩින්
තාරුකාවලට පහලින්
මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක
බලන බලන පැත්තේ
අප්පචිචිට දූවම පෙනේවි
ඔය මුවේ කිරි සුවද
නින්දෙදි හීනෙනුත් දැනේවි
පුංචි මල් ගවුමක් අන්දලා
වටයක් කැරකිලා හැඩ බලන්න
ඇවිදින බෝනික්කියක් එක්ක
තරගෙට නැටුමක් නටන්න
පුංචි බංඩියට කිති කවලා
තරගෙට හිනා වෙන්න
යස ඉසුරු හොයාගෙන
අප්පච්චි ගිහින් දුර ඈත
අයිය බබත් එක්ක සන්ඩු නොකර
පොඩි ගල්කැට කටේ නොදමා
අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන
අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා
රත්තරං දුව නිදියන්න
මේ ලෝකෙ කවුරුත් නොතකපු
අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු
රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව
කිංකිණි සිනාව
ආයෙත් දකින තුරු
අප්පච්චි බොන කදුළු
චූටි දුව තාම දන්නෙ නෑ.
අතීතයේ රලු සුලග
අනාගතය වියැලෙන විට
ඔබත් මගෙන් දුරක ගිහින්
සිදු වූ සැම නොසිදු විලස
හිටිහැටියේ අසුරු සැනින්
ඔබ මට මුණ ගැසුනු විටක
මිහිරි මතක හද පාරයි
ඔබට නොදැනි යවුල් විලස
මෙලෙක් කලේ ඔබම තමා
එසිත කඩා බිම පාගා
නික්ම ගියෙත් ඔබම තමා
යලි කුසුමක් නොපිපෙන්නට
මුල් උදුරා යවට හලා
සොහොන් බිමක ඇති තනිකම
උරුම කලෙත් ඔබම තමා
සද පායන රෑ අහසට
අලුයම පිණි දිය කුමටද
දිය නොරදන හිල් බදුනට
රිදියෙන් කල ඔඩම් මොටද
රන් තැටියක මී බොන විට
මද පවනක රැලි කුමටද
සුලි සුලගක් ගැවසෙන විට
දෙනෙත් අන්ද කලා මිසක්
තුන්සිත රිදවුවා නොවේ
හදවත ඉදිරුවා මිසක්
දිය බිම ඉහිරුවා නොවේ
දියට සිගිරි හැලූ මිසක්
ඔබ මට නොලැබුනා නොවේ
මාවද නැතිවුනා මිසක්
සුළඟ, ඇය සහ මම..
>> Sunday, December 15, 2013
පිය සෙනෙහස සැඟව ගොස් දෙවසරකි…..
>> Wednesday, October 31, 2012
පැතලි මේ බිම නවමු ලෙස…..
>> Tuesday, September 25, 2012
එම්බාම්……
>> Saturday, April 14, 2012
වයසට ගිය, තරුණ ළදරු
අතපය කැඩුනු, තැළුනු ,ඇඹරුනු
කාටත් පොදු මරණය
යම් ලෙසක ළඟා වුනු…..
නෑ හිත මිතුරු
වැළඳ සිඹ වැලපෙන
මුහුණු අතගා බලන
ගෙදර යන්ට පෙර
අත සෝදන්ට කරාමය සොයන ….
බඩ පලන, හකු කඩන, කට මහන
ෆෝමලින් විදින, ලේ හලන, ගඳ හමන
කලිසම්, කබා, ගවොම්, සාරි වදෙන්ම අන්දවන
ලණු තුන් පොටක ලා පෙට්ටියට බස්සන …..
උලා නෙක අඳුන්, පීරා මැරුණ කොණ්ඩය
තවරා තොල් මැලියම් ඔබා පුළුන් කට, නාසය
පුරවා පිදුරු රෙදි කෑලි පුම්බා බඩ ගෙඩිය
ගෙනවිත් බාර දෙන සමගින අඩු වැඩිය….
Read more...අඳුර.......
>> Friday, April 6, 2012
ඉරි තැළුනු පියන් පතකින් පෙරී එන
සඳ දිය ඇබිත්තක්
මහපටැඟිලි තුඩින්
කළුවරට අවනතව වසාලමි…….
අඳුර කෙතරම් සුන්දරද?
Read more...මම උඹේ අම්මා….
>> Tuesday, September 20, 2011

කාණු පල්ලක ලැග
තෙමෙමින් වැටෙන වැසි දියට
දනන් පා පහර වැද
නුඹව මා මේ ලොවට බිහිකලේ…
නොදන්නා බල්ලෙකුට ජාතක
අවජාතක කුක්කෙකු වුවත්
නුඹ මට මහරු මැණිකකි
කුණු ගොඩක මැස්සන් සමඟ විසුවත්..
මැක්කෝ කිනිතුල්ලෝ
මදුරුවෝ තරඟෙට ලේ උරන
ඒ ලෙයට හරියන්ට
මගේ කුසපොත්තේ ලොට තන
උඹට දුන්නා මතකයි..
දවසක් හැන්දෑකරේ
යාන්තමට ඇහැපියද්දි
එක අණ්ඩක් උස්සගෙන
උඹ බෑරි ගාගෙන පැන පැන එද්දි
ඔය සිඟිති පය තලා පොඩි කල
නම නොදන්න යකඩ සතා
මටත් සැර දාගෙන දිව ගියා..
එදා ඉදන් අද වෙනකම්
තුන් කුන්දු පනින උඹත් එක්ක
ඌ ආයෙ එනකම්
මම මඟ බලා ඉන්නවා…
පසු සටහන : බල්ලන් වාහන පසුපස එලවීම ගම්බද මාවත් වල සුළබ උවත්, නගර වල බල්ලන්ට වාහන හුරුය.
කොහුවල පෙරේරා මාවතේ සිටින එක බැල්ලක් ඉතා අසාමාන්ය ලෙස වාහන වලට කඩා පනියි. ඇය පස්සේ නිතර දැවටෙන පැටවුන් දෙදෙනෙකි. එක් පැටවෙකුගේ කකුලක් බිඳි , නිතර එය උස්සාගෙන් සිටී. මා සිටන පරිදි, ඒ අහින්සක බලු පැටවාට ඒ විපත වන්නට ඇත්තේ වාහන අනතුරක් නිසා විය හැකිය. බැල්ලගේ අසාමාන්ය කෝපය එයට දෙස් නොදේද?
මනුස්ස අප මෙන්ම සතුන්ද දරුවන්ට ආදරය දක්වයි.
බොල් වී…
>> Monday, September 12, 2011
රන්වන් වියැට අතරින්
බොල්වී පෙරී වෙන් වී
කමත කෙලවර, ගොඩක් වී නැඟෙයි…
ඉඳහිට එක දෙකක්
සරු වියැට, ඒ අතරට
අහම්බෙන් එකතු වෙයි, නොදැනීම …
උදෑසන බොල් පින්නට තෙමී
එවන් තනි වී ඇට
නිල්වන් නව දළු නඟා
වියලි පොළවෙත් මුල් අදියි…
පොහොයක් දෙකක් ගෙවෙන සඳ
ඒ නව යොවුන් වී පැල
සුළගේ නටන රිදී වන් පත් සමඟ
පුරන් කුඹුරේ කොළ පැහැ මවයි…
ඊළඟ යලට අස්වද්දන්ට
බිම හෙලන පලමු උදළු පහරට
අසරණව අසුවන ඒ පැල පොඩි
කුඹුරටම දිරා පස් වී යයි…
පුංචිමහත්තයා….

දන්නා ලෙසට හැකිවිට තම නම ලීව
නෑ සිය පිරිස දෙගුරුන් වත් නැහ කීව
උපනත් ගමේ අසරණ ළඳකට දාව
පිය පරුසවය අප්පෝ බව සිහි පෑව…!
වෙල අසබඩ ඉඳිවුන පොඩි පැල් කොටය
තවෙකුට තබා ඔහුටම වත් ඉඩ මදිය
වලං මුට්ටි සහ ඔහු සතු අඩු වැඩිය
ගෙයි මුල්ලේ පෙට්ටි කබලක ඉඩ සරිය
අඹුවක් කිසිම දවසක නෑ කැන්දෑවේ
වෙරිමත සමඟ අඹුවක් ඇති බව පෑවේ
බනිමින් දෙස් දෙවොල් තබමින් හැන්දෑවේ
බිරිඳැයි සිතා පන් පැදුරට තඩි බෑවේ….!
උදෙහිට රෑ වනතුරු මත් ඇසිල්ලේ
පොල් රා සුවඳමයි මුව විට පෙවිල්ලේ
තොල ගෑ නමුත් රහමෙර ලද ඇසිල්ලේ
ඔහු ළඟ නොමැත නොසරුප් බස් කිවිල්ලේ
ඔහුගේ රැකියාව ගස් ගෙඩි කැඩිල්ලය
ගසකින් ගසක ගොස් බඩ ගා නැඟීමය
කැඩු ගස් ගනන පොල් කොලයක ලිවීමය
ලද දේ සතුටු වී ඉවතට ඇදීමය
දන්නා කවි ශ්ලෝක තරමට නිමක් නැතී
ගයනා විටදි වන්නම් දහ අටම ඇතී
ගිය පාසලක්, පන්සලකුත් ඔහුට නැතී
පොත් දාහකට වැඩි මතකය! දෙය්යො දනී
ඇවිදින බකල ගමනය, මුව හිනාවය
ගමනක් යද්දි හිස පළඳින ජටාවය
පොල් ගස් නඟිද්දී අමුඩය මනාවය
සරම් දෙකින් පිරිමහගත් ප්රමාණය.
දවසක් ගමේ චංඩියෙකුගෙන් ගුටි කෑව
නාහෙන්, කටින් ලේ පෙරමින් දුව ආව
රිදුනත් සියොලඟම එකලෙස මුළු රෑක
ඔහු නෑ ගියේ පොලිසියකට කිසි දාක…
වන්නි දෙවොල් බිම…
>> Friday, August 19, 2011
වන්නියේ වෙඩි සැරටකැඩී විසිරුණ දෙවොල් තුල
අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල
ඉඳ හිට දැල්වෙන පහන්
තවමත් ඇත …….
අවතැන්ව ගාල් වුන
වන්නියේ ජනතාව
ගෙනැවිත් අතැර දැමූ
බොන්න දිය බිඳකුඳු නොමැතිවම ….
කලකට පෙර - තමන්ගෙම වූ ගේ දොර
අවශේෂ උළුඅහු, කුළුණු පාමුල
එලාගත් ඉටිකොල, පන් පැදුරු මත
දරු මුණුබුරන් සමඟ - පිනට ලද දෙයක් බුදිමින්….
ඒ මිනිස් සිත් වල
එක් විශ්වාසයක් ඇත
කඩා වැටුනු දෙවොල් තුල
තවමත් දෙවියන් වැඩ සිටින බව
තමනට පිහිට වන බව…
2011.08.17
සිහිනයක්…..
>> Sunday, August 14, 2011
මේ අදුරු මැදියමේකොහේදෝ සිට ගලන
තෙතබරිත කොල පුසුඹ
සැනින් මට අඬගසයි…
වශී වී ඒ මඟට
හනික ඉවකර සුවඳ
ගොළු බසට අවනතව
හනි හනික පා නඟමි…
ගැටී කැබලිති දෙපා
ඇනී මළකඩ කම්බි
ඇදී ගොස් ගවු ගනන්
සිහිනෙන්ම නතර වෙමි…
දොලොස් වසකට පලමු
ඔබෙන් මා සමු ගැනුනු
පාළු සොහොනක් අසල
නතර විය ඒ සුවඳ…!
පිරුණු පස් ගොඩක් යට
දිරා ගිය ඇට කැබලි
ඔබ නොවේ යයි දනිමි
එහෙත්, සිහිවටනයකි….
අතීතේ සුවඳ පොද
ස්වප්නයක ඉවකරන්
මසැස් බැල්මෙන් මුදා
මනැස් බැල්මක් හෙලයි…
ඒ ලොවට ඉගිලෙන්ට
තවම අවසර නොමැත
මේ ලොවට ඇද තබන
එක් පෙකණි වැලක් ඇත…
සොඳුර !ඔබ නවතින්න
තව මදක් ඉවසන්න
මේ සොහොන් පිටියේම
දිනෙක මා සුව සොයමි..
එතෙක් මේ සුවඳ පොද
බිඳක් අහකට ගන්න
අඳුරු රැය කලඹවා
මා වෙතට නොම එන්න…
2011.08.03
මහා වාපිය..
>> Sunday, July 17, 2011
මේ ගඟ මෙතැනින් නැවතිනි..
මහ වේල්ල ලඟ
රළපතර නඟන වැවක් ලෙස….
එක් පසෙක,
හිරු රැසින් ගිනියම්ව කැකෑරෙන
පුලින තලයක් ඇත..
සුපෙම්වත් එ ගං කොමළිය
රැඳී තවමත් අනිත් පස නැත
ගැඹුරු කළු දිය කඳ
වැවක් සේ රැළි නඟා හැසිරෙත..
ඉදහිට වහින මහ වැස්සට
වාන් දමන දිය කඳ
පෙරදා රැළි නැඟූ පුලින තලයට
විගස දුව ගොස් දුක කියයි…
2011.07.11
අබිසරුලියගේ මධුසමය.
>> Thursday, July 7, 2011
පරණ බඳුනක
අළුත් මිදි යුෂ
දෝත පා පිළිනඟමි
මම ඔබට ….
දහසක් දනන් තොල ගෑ
මේ පැරණි බඳුනේ
මධු බී මත්ව සරනා
කිසිදා මධු නොදුටු
බඹරා නුඹ….
බඳුනට දෙතොල් තබා
රස ඉරූ අය බොහෝය..
ඒ රස මිදි යුෂට
එක්කල හලාහල විෂ
බොහෝය ….
නොකල වරදකට නොදැන
හලාහල විෂ බොන නුඹ
කමා කරන් මට
පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…
2011.07.04
පිපෙන පරවෙන මැයි මල්……
>> Monday, June 13, 2011
මේ පිපෙන පරවෙන මැයි මල්
එදවස පිපුණා නම්……
වියපත්ව ,වියළිව
සුළඟින් මිදී තෘණ මත වැටෙන….
මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……
පීදී කරලින් බරව
නෙක තුරු රටා මවමින්
ඵල දරන්නට තිබිණි….
මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……
2011.06.13
>> Tuesday, May 31, 2011
බස් එක
කොට කොට නොසිට
ඉක්මනට ගෙදර යා ….
අද පඩි දවස ….
පුතාට ගත් හිම කිරම
දැනටමත් බාගයක් දිය වෙලා…
හිම කිරම = ice cream
2011.03.11
ගී මී විත
>> Monday, May 30, 2011
මේ සීමා මායිම් කඩුළු පැන
මී විතක් ගෙන - ගී පොතක් ලඟ
ඇස් අඩවන් කර සම්මෝහ නිද්රාවක
ගී ලියන්නට සිතෙයි මට…..
වැලි බදාම හුණු කුඩු අතරේ
කටු ගෑ සටහන් සිතුවම් අතරේ
මා ආසා කල හද බැඳි කවි සිත
කෙමෙන් කෙමෙන් මිය ඇදෙන්න යාවිද?
2011.03.05









