දයාබර අප්පච්චි….
>> Sunday, February 27, 2011
ඔබ නික්ම ගිය දින සිට
තවමත් දුක්බරය ජීවිත තනුව
ගොළුව ගොස් ඇත කවිසිත
ඵල රහිත නිස්සාර ජීවිතය
යළි යළිත් සිතෙයි මට…
එක්කර සියළු වෙර
දුබලව ගිය ගත වාරුවට
ඇවිද ගොස් ගිලන් හල් ගානේ
තැතනු හැටි ඉටු කරන්නට යුතුකම්
දූ දරුවන් වෙනුවෙන්..
සිහිවන මතක පොද
සඳ නැඟ එන රැයක
නිදි නැති විටෙක
නෙත් කෙවෙනි තුල කඳුළු ලෙස
තවම උතුරා ගලයි…
සරත් සඳ බැස යන තුරුම
වසත් සඳ නැඟ එන තුරුම
පින්නෙන් පෙඟුන තුරුපත් අතර
සඳ දිය උතුරා ගලා
ඔබ නිදන පොලවේ
මිහිරැති සිත්තම් මවයි
ඒ සිත්තම් අතර
බොඳවුන සුදු රුවක් ලෙස
ඔබේ රුව යලි යලිත් මැවි මැවී
සෙනෙහසින් මගේ හිස පිරිමදියි…..
2011.02.22
රටකජු….
>> Saturday, February 5, 2011
සෙනඟ අඩු අසුනක හිඳ
යුහු යුහුව රටකජු
ගිල දමන යුවතිය …..
දොලොස් පැය වැඩ මුරේ
නින්දට පෙර ලැබෙන
අන්තිම කෑම වේල
ඔය රටකජු මුල බව
අදහමි කෙලෙස?
යන මඟ…
>> Sunday, January 16, 2011
හතර දෙන
හතර කොණ
දෙණ
ඔසවා ගෙන යන සඳ
කනත්තට….
පසුපසින් නැඟෙයි
ගොර බිරම් නළා හඬ
රිය සක….
ඇවුරුණ බැවින් මඟ
මොහොතකට…..
2011.01.13
ආත්මය …
>> Saturday, January 15, 2011
ශරීරය නම් කලය තුල
වටකුරුව ගුලි ගැසී නිදන
විස දළැති
ස්ර්පයෙකු වැනිය
ආත්මය …….
කවා පොවා ඇති දැඩි කල හැකි
හිස අතගා වුව සුරතල් කල හැකි
කිසි විට කොයි ලෙස පහර දේවිදැයි
සිතා ගන්න බැරි….





