පුංචිමහත්තයා….

>> Monday, September 12, 2011


දන්නා ලෙසට හැකිවිට තම නම ලීව
නෑ සිය පිරිස දෙගුරුන් වත් නැහ කීව
උපනත් ගමේ අසරණ ළඳකට දාව
පිය පරුසවය අප්පෝ බව සිහි පෑව…!

වෙල අසබඩ ඉඳිවුන පොඩි පැල් කොටය
තවෙකුට තබා ඔහුටම වත් ඉඩ මදිය
වලං මුට්ටි සහ ඔහු සතු අඩු වැඩිය
ගෙයි මුල්ලේ පෙට්ටි කබලක ඉඩ සරිය

අඹුවක් කිසිම දවසක නෑ කැන්දෑවේ
වෙරිමත සමඟ අඹුවක් ඇති බව පෑවේ
බනිමින් දෙස් දෙවොල් තබමින් හැන්දෑවේ
බිරිඳැයි සිතා පන් පැදුරට තඩි බෑවේ….!

උදෙහිට රෑ වනතුරු මත් ඇසිල්ලේ
පොල් රා සුවඳමයි මුව විට පෙවිල්ලේ
තොල ගෑ නමුත් රහමෙර ලද ඇසිල්ලේ
ඔහු ළඟ නොමැත නොසරුප් බස් කිවිල්ලේ

ඔහුගේ රැකියාව ගස් ගෙඩි කැඩිල්ලය
ගසකින් ගසක ගොස් බඩ ගා නැඟීමය
කැඩු ගස් ගනන පොල් කොලයක ලිවීමය
ලද දේ සතුටු වී ඉවතට ඇදීමය

දන්නා කවි ශ්ලෝක තරමට නිමක් නැතී
ගයනා විටදි වන්නම් දහ අටම ඇතී
ගිය පාසලක්, පන්සලකුත් ඔහුට නැතී
පොත් දාහකට වැඩි මතකය! දෙය්යො දනී

ඇවිදින බකල ගමනය, මුව හිනාවය
ගමනක් යද්දි හිස පළඳින ජටාවය
පොල් ගස් නඟිද්දී අමුඩය මනාවය
සරම් දෙකින් පිරිමහගත් ප්රමාණය.

දවසක් ගමේ චංඩියෙකුගෙන් ගුටි කෑව
නාහෙන්, කටින් ලේ පෙරමින් දුව ආව
රිදුනත් සියොලඟම එකලෙස මුළු රෑක
ඔහු නෑ ගියේ පොලිසියකට කිසි දාක…

Read more...

වන්නි දෙවොල් බිම…

>> Friday, August 19, 2011

වන්නියේ වෙඩි සැරට
කැඩී විසිරුණ දෙවොල් තුල
අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල
ඉඳ හිට දැල්වෙන පහන්
තවමත් ඇත …….

අවතැන්ව ගාල් වුන
වන්නියේ ජනතාව
ගෙනැවිත් අතැර දැමූ
බොන්න දිය බිඳකුඳු නොමැතිවම ….

කලකට පෙර - තමන්ගෙම වූ ගේ දොර
අවශේෂ උළුඅහු, කුළුණු පාමුල
එලාගත් ඉටිකොල, පන් පැදුරු මත
දරු මුණුබුරන් සමඟ - පිනට ලද දෙයක් බුදිමින්….

ඒ මිනිස් සිත් වල
එක් විශ්වාසයක් ඇත
කඩා වැටුනු දෙවොල් තුල
තවමත් දෙවියන් වැඩ සිටින බව
තමනට පිහිට වන බව…

2011.08.17

Read more...

සිහිනයක්…..

>> Sunday, August 14, 2011

මේ අදුරු මැදියමේ
කොහේදෝ සිට ගලන
තෙතබරිත කොල පුසුඹ
සැනින් මට අඬගසයි…

වශී වී ඒ මඟට
හනික ඉවකර සුවඳ
ගොළු බසට අවනතව
හනි හනික පා නඟමි…

ගැටී කැබලිති දෙපා
ඇනී මළකඩ කම්බි
ඇදී ගොස් ගවු ගනන්
සිහිනෙන්ම නතර වෙමි…

දොලොස් වසකට පලමු
ඔබෙන් මා සමු ගැනුනු
පාළු සොහොනක් අසල
නතර විය ඒ සුවඳ…!

පිරුණු පස් ගොඩක් යට
දිරා ගිය ඇට කැබලි
ඔබ නොවේ යයි දනිමි
එහෙත්, සිහිවටනයකි….

අතීතේ සුවඳ පොද
ස්වප්නයක ඉවකරන්
මසැස් බැල්මෙන් මුදා
මනැස් බැල්මක් හෙලයි…

ඒ ලොවට ඉගිලෙන්ට
තවම අවසර නොමැත
මේ ලොවට ඇද තබන
එක් පෙකණි වැලක් ඇත…

සොඳුර !ඔබ නවතින්න
තව මදක් ඉවසන්න
මේ සොහොන් පිටියේම
දිනෙක මා සුව සොයමි..

එතෙක් මේ සුවඳ පොද
බිඳක් අහකට ගන්න
අඳුරු රැය කලඹවා
මා වෙතට නොම එන්න…

2011.08.03

Read more...

මහා වාපිය..

>> Sunday, July 17, 2011


මේ ගඟ මෙතැනින් නැවතිනි..

මහ වේල්ල ලඟ
රළපතර නඟන වැවක් ලෙස….

එක් පසෙක,
හිරු රැසින් ගිනියම්ව කැකෑරෙන
පුලින තලයක් ඇත..

සුපෙම්වත් එ ගං කොමළිය
රැඳී තවමත් අනිත් පස නැත
ගැඹුරු කළු දිය කඳ
වැවක් සේ රැළි නඟා හැසිරෙත..

ඉදහිට වහින මහ වැස්සට
වාන් දමන දිය කඳ
පෙරදා රැළි නැඟූ පුලින තලයට
විගස දුව ගොස් දුක කියයි…

2011.07.11


Read more...

අබිසරුලියගේ මධුසමය.

>> Thursday, July 7, 2011


පරණ බඳුනක
අළුත් මිදි යුෂ
දෝත පා පිළිනඟමි
මම ඔබට ….

දහසක් දනන් තොල ගෑ
මේ පැරණි බඳුනේ
මධු බී මත්ව සරනා
කිසිදා මධු නොදුටු
බඹරා නුඹ….

බඳුනට දෙතොල් තබා
රස ඉරූ අය බොහෝය..
ඒ රස මිදි යුෂට
එක්කල හලාහල විෂ
බොහෝය ….

නොකල වරදකට නොදැන
හලාහල විෂ බොන නුඹ
කමා කරන් මට
පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…

2011.07.04


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP