කැලෑවට පිපුනු මල්..
>> Thursday, April 29, 2010
තේරෙන නොතේරෙන දෙමළින් ඇස් අගක
ඉනු උනු කඳුළු සඟවා හදවත් කොනක
සිප් කිරි බොන්න පොරකන දරු කැළ සඳක
සාවා දුටුව වැනි අඳුරුම මහ රැයක
ටකරන් මඩුව තල් අතුවැට පොත් මිටිය
පොඩිවුන ගවුම හොටු නාවර මුව පොඩිය
බූ ගෑ හිසක බර උසුලන කටු දෙපය
කිරි සුවඳක ඉඩ හසරැළි නැති හැඩය
වන්නි වනපෙතේ ඇවිලෙන ගිනි මැලය
සුළඟට කැරකි උඩ නැඟ එන මැසි කැලය
අව්වට කළු ගැහී වේලුන දරු පෙලය
වනයට සමාවක් ලතෙතක් නැති හැඩය
අකුලක පිපුණ ඈ කුසුමකි සුවඳ හිමී
අකුලේ වැනෙනු මිස කඳුරක සුව අහිමී
අකුලේ පිපී අකුලෙම පරවෙනු දකිමී
ඔය මුව සිනා මල් පිබිදෙන දින ගනිමී..
මඩකලපුව දිස්තිරික්කයේ මුරුතමුනයි ගම්මානයේ ශ්රී මමම්ගම් විදුහලේදී මට මුණ ගැසුන මේ දැරිවිය හඩන්නේ කිරි ඉල්ලා නොවේ…. ඉගෙනීමට, පොතක්, පෑනක්, පාසලක් ඉල්ලාය.ඈ ඉගෙනුම ලබන පාසලේ 5 වසරින් පසු පංති නැත. ලඟම ඇති අනෙත් පාසල කි.මී. 70 ක් දුරින් පිහිටා තිබේ. ඇය 5වසරින් පසු එක්කෝ ගෙදර නැවතිය යුතුය. නැතහොත් 5 වස්රේම රැඳී සිටිය යුතුය. එසේ 5 වසරේම වසර හතරක් පුරා අකුරු කරන දැරිවියන් කීප දෙනෙක් මේ පාසලේ සිටී.රැකියාව තුලින් හෝ මොවුන්ට කුඩා පිලිසරණක් වීමට ලැබීම මා ලද අගනා අවස්තාවක් යැයි මට සිතේ.