මම උඹේ අම්මා….
>> Tuesday, September 20, 2011

කාණු පල්ලක ලැග
තෙමෙමින් වැටෙන වැසි දියට
දනන් පා පහර වැද
නුඹව මා මේ ලොවට බිහිකලේ…
නොදන්නා බල්ලෙකුට ජාතක
අවජාතක කුක්කෙකු වුවත්
නුඹ මට මහරු මැණිකකි
කුණු ගොඩක මැස්සන් සමඟ විසුවත්..
මැක්කෝ කිනිතුල්ලෝ
මදුරුවෝ තරඟෙට ලේ උරන
ඒ ලෙයට හරියන්ට
මගේ කුසපොත්තේ ලොට තන
උඹට දුන්නා මතකයි..
දවසක් හැන්දෑකරේ
යාන්තමට ඇහැපියද්දි
එක අණ්ඩක් උස්සගෙන
උඹ බෑරි ගාගෙන පැන පැන එද්දි
ඔය සිඟිති පය තලා පොඩි කල
නම නොදන්න යකඩ සතා
මටත් සැර දාගෙන දිව ගියා..
එදා ඉදන් අද වෙනකම්
තුන් කුන්දු පනින උඹත් එක්ක
ඌ ආයෙ එනකම්
මම මඟ බලා ඉන්නවා…
පසු සටහන : බල්ලන් වාහන පසුපස එලවීම ගම්බද මාවත් වල සුළබ උවත්, නගර වල බල්ලන්ට වාහන හුරුය.
කොහුවල පෙරේරා මාවතේ සිටින එක බැල්ලක් ඉතා අසාමාන්ය ලෙස වාහන වලට කඩා පනියි. ඇය පස්සේ නිතර දැවටෙන පැටවුන් දෙදෙනෙකි. එක් පැටවෙකුගේ කකුලක් බිඳි , නිතර එය උස්සාගෙන් සිටී. මා සිටන පරිදි, ඒ අහින්සක බලු පැටවාට ඒ විපත වන්නට ඇත්තේ වාහන අනතුරක් නිසා විය හැකිය. බැල්ලගේ අසාමාන්ය කෝපය එයට දෙස් නොදේද?
මනුස්ස අප මෙන්ම සතුන්ද දරුවන්ට ආදරය දක්වයි.