පැතලි මේ බිම නවමු ලෙස…..

>> Tuesday, September 25, 2012


සබඳ කෙතරම් මෙහි ඇත්ද
විසල්ව පැතිරි නිල් තණ බිමේ
කෙළවර මිහිදුමට මුවහ වී
උස් නූස් කඳු මුදුන් ………

එකාකාරී මේ බිම
වෙනස්ව දකිනු රිසියෙන්
කැමැත්තෙමි මම නැඟ බලන්ට
එවන් එක් කඳු මුදුනකට….

සිසිල් වා රැළි මුහුනත සිඹින
යලි යලිත් පැමිණ ගත හී ගඩු නංවන
ඈතින් පෙනෙනෙ ගිරි ශිඛර මුදුනේ
කෙතරම් විසිතුරු දේ ඇත්ද?

ස්ථිරය මට මේ පැතලි බිම
අතරින පතර නැඟි ගිරි ශිඛර හා
ගංගා ඇල දොල වන ලැහැබ්
ගැවසි ඇති වග තැනින් තැන …..

සබඳ එක් වන්න මා සමඟ
ගිරි ශිඛර තරණයට යුහු යුහුව
පැතලි මේ බිම නවමු ලෙස
ඉහල සිට විඳිනු රිසිනම්….


2012.09.13

Read more...

එම්බාම්……

>> Saturday, April 14, 2012


වයසට ගිය, තරුණ ළදරු

අතපය කැඩුනු, තැළුනු ,ඇඹරුනු

කාටත් පොදු මරණය

යම් ලෙසක ළඟා වුනු…..



නෑ හිත මිතුරු

වැළඳ සිඹ වැලපෙන

මුහුණු අතගා බලන

ගෙදර යන්ට පෙර

අත සෝදන්ට කරාමය සොයන ….



බඩ පලන, හකු කඩන, කට මහන

ෆෝමලින් විදින, ලේ හලන, ගඳ හමන

කලිසම්, කබා, ගවොම්, සාරි වදෙන්ම අන්දවන

ලණු තුන් පොටක ලා පෙට්ටියට බස්සන …..



උලා නෙක අඳුන්, පීරා මැරුණ කොණ්ඩය

තවරා තොල් මැලියම් ඔබා පුළුන් කට, නාසය

පුරවා පිදුරු රෙදි කෑලි පුම්බා බඩ ගෙඩිය

ගෙනවිත් බාර දෙන සමගින අඩු වැඩිය….

Read more...

අඳුර.......

>> Friday, April 6, 2012


ඉරි තැළුනු පියන් පතකින් පෙරී එන


සඳ දිය ඇබිත්තක්


මහපටැඟිලි තුඩින්


කළුවරට අවනතව වසාලමි…….



අඳුර කෙතරම් සුන්දරද?

Read more...

මම උඹේ අම්මා….

>> Tuesday, September 20, 2011


කාණු පල්ලක ලැග
තෙමෙමින් වැටෙන වැසි දියට
දනන් පා පහර වැද
නුඹව මා මේ ලොවට බිහිකලේ…

නොදන්නා බල්ලෙකුට ජාතක
අවජාතක කුක්කෙකු වුවත්
නුඹ මට මහරු මැණිකකි
කුණු ගොඩක මැස්සන් සමඟ විසුවත්..

මැක්කෝ කිනිතුල්ලෝ
මදුරුවෝ තරඟෙට ලේ උරන
ඒ ලෙයට හරියන්ට
මගේ කුසපොත්තේ ලොට තන
උඹට දුන්නා මතකයි..

දවසක් හැන්දෑකරේ
යාන්තමට ඇහැපියද්දි
එක අණ්ඩක් උස්සගෙන
උඹ බෑරි ගාගෙන පැන පැන එද්දි
ඔය සිඟිති පය තලා පොඩි කල
නම නොදන්න යකඩ සතා
මටත් සැර දාගෙන දිව ගියා..

එදා ඉදන් අද වෙනකම්
තුන් කුන්දු පනින උඹත් එක්ක
ඌ ආයෙ එනකම්
මම මඟ බලා ඉන්නවා…

පසු සටහන : බල්ලන් වාහන පසුපස එලවීම ගම්බද මාවත් වල සුළබ උවත්, නගර වල බල්ලන්ට වාහන හුරුය.
කොහුවල පෙරේරා මාවතේ සිටින එක බැල්ලක් ඉතා අසාමාන්ය ලෙස වාහන වලට කඩා පනියි. ඇය පස්සේ නිතර දැවටෙන පැටවුන් දෙදෙනෙකි. එක් පැටවෙකුගේ කකුලක් බිඳි , නිතර එය උස්සාගෙන් සිටී. මා සිටන පරිදි, ඒ අහින්සක බලු පැටවාට ඒ විපත වන්නට ඇත්තේ වාහන අනතුරක් නිසා විය හැකිය. බැල්ලගේ අසාමාන්ය කෝපය එයට දෙස් නොදේද?
මනුස්ස අප මෙන්ම සතුන්ද දරුවන්ට ආදරය දක්වයි.

Read more...

බොල් වී…

>> Monday, September 12, 2011




සුළඟත් සමඟ පහලට වැටෙන
රන්වන් වියැට අතරින්
බොල්වී පෙරී වෙන් වී
කමත කෙලවර, ගොඩක් වී නැඟෙයි…

ඉඳහිට එක දෙකක්
සරු වියැට, ඒ අතරට
අහම්බෙන් එකතු වෙයි, නොදැනීම …

උදෑසන බොල් පින්නට තෙමී
එවන් තනි වී ඇට
නිල්වන් නව දළු නඟා
වියලි පොළවෙත් මුල් අදියි…

පොහොයක් දෙකක් ගෙවෙන සඳ
ඒ නව යොවුන් වී පැල
සුළගේ නටන රිදී වන් පත් සමඟ
පුරන් කුඹුරේ කොළ පැහැ මවයි…

ඊළඟ යලට අස්වද්දන්ට
බිම හෙලන පලමු උදළු පහරට
අසරණව අසුවන ඒ පැල පොඩි
කුඹුරටම දිරා පස් වී යයි…

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP