වන්නි දෙවොල් බිම…

>> Friday, August 19, 2011

වන්නියේ වෙඩි සැරට
කැඩී විසිරුණ දෙවොල් තුල
අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල
ඉඳ හිට දැල්වෙන පහන්
තවමත් ඇත …….

අවතැන්ව ගාල් වුන
වන්නියේ ජනතාව
ගෙනැවිත් අතැර දැමූ
බොන්න දිය බිඳකුඳු නොමැතිවම ….

කලකට පෙර - තමන්ගෙම වූ ගේ දොර
අවශේෂ උළුඅහු, කුළුණු පාමුල
එලාගත් ඉටිකොල, පන් පැදුරු මත
දරු මුණුබුරන් සමඟ - පිනට ලද දෙයක් බුදිමින්….

ඒ මිනිස් සිත් වල
එක් විශ්වාසයක් ඇත
කඩා වැටුනු දෙවොල් තුල
තවමත් දෙවියන් වැඩ සිටින බව
තමනට පිහිට වන බව…

2011.08.17

Read more...

සිහිනයක්…..

>> Sunday, August 14, 2011

මේ අදුරු මැදියමේ
කොහේදෝ සිට ගලන
තෙතබරිත කොල පුසුඹ
සැනින් මට අඬගසයි…

වශී වී ඒ මඟට
හනික ඉවකර සුවඳ
ගොළු බසට අවනතව
හනි හනික පා නඟමි…

ගැටී කැබලිති දෙපා
ඇනී මළකඩ කම්බි
ඇදී ගොස් ගවු ගනන්
සිහිනෙන්ම නතර වෙමි…

දොලොස් වසකට පලමු
ඔබෙන් මා සමු ගැනුනු
පාළු සොහොනක් අසල
නතර විය ඒ සුවඳ…!

පිරුණු පස් ගොඩක් යට
දිරා ගිය ඇට කැබලි
ඔබ නොවේ යයි දනිමි
එහෙත්, සිහිවටනයකි….

අතීතේ සුවඳ පොද
ස්වප්නයක ඉවකරන්
මසැස් බැල්මෙන් මුදා
මනැස් බැල්මක් හෙලයි…

ඒ ලොවට ඉගිලෙන්ට
තවම අවසර නොමැත
මේ ලොවට ඇද තබන
එක් පෙකණි වැලක් ඇත…

සොඳුර !ඔබ නවතින්න
තව මදක් ඉවසන්න
මේ සොහොන් පිටියේම
දිනෙක මා සුව සොයමි..

එතෙක් මේ සුවඳ පොද
බිඳක් අහකට ගන්න
අඳුරු රැය කලඹවා
මා වෙතට නොම එන්න…

2011.08.03

Read more...

මහා වාපිය..

>> Sunday, July 17, 2011


මේ ගඟ මෙතැනින් නැවතිනි..

මහ වේල්ල ලඟ
රළපතර නඟන වැවක් ලෙස….

එක් පසෙක,
හිරු රැසින් ගිනියම්ව කැකෑරෙන
පුලින තලයක් ඇත..

සුපෙම්වත් එ ගං කොමළිය
රැඳී තවමත් අනිත් පස නැත
ගැඹුරු කළු දිය කඳ
වැවක් සේ රැළි නඟා හැසිරෙත..

ඉදහිට වහින මහ වැස්සට
වාන් දමන දිය කඳ
පෙරදා රැළි නැඟූ පුලින තලයට
විගස දුව ගොස් දුක කියයි…

2011.07.11


Read more...

අබිසරුලියගේ මධුසමය.

>> Thursday, July 7, 2011


පරණ බඳුනක
අළුත් මිදි යුෂ
දෝත පා පිළිනඟමි
මම ඔබට ….

දහසක් දනන් තොල ගෑ
මේ පැරණි බඳුනේ
මධු බී මත්ව සරනා
කිසිදා මධු නොදුටු
බඹරා නුඹ….

බඳුනට දෙතොල් තබා
රස ඉරූ අය බොහෝය..
ඒ රස මිදි යුෂට
එක්කල හලාහල විෂ
බොහෝය ….

නොකල වරදකට නොදැන
හලාහල විෂ බොන නුඹ
කමා කරන් මට
පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…

2011.07.04


Read more...

පිපෙන පරවෙන මැයි මල්……

>> Monday, June 13, 2011


මේ පිපෙන පරවෙන මැයි මල්
එදවස පිපුණා නම්……

වියපත්ව ,වියළිව
සුළඟින් මිදී තෘණ මත වැටෙන….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

පීදී කරලින් බරව
නෙක තුරු රටා මවමින්
ඵල දරන්නට තිබිණි….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

2011.06.13


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP