වන්නි දෙවොල් බිම…

>> Friday, August 19, 2011

වන්නියේ වෙඩි සැරට
කැඩී විසිරුණ දෙවොල් තුල
අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල
ඉඳ හිට දැල්වෙන පහන්
තවමත් ඇත …….

අවතැන්ව ගාල් වුන
වන්නියේ ජනතාව
ගෙනැවිත් අතැර දැමූ
බොන්න දිය බිඳකුඳු නොමැතිවම ….

කලකට පෙර - තමන්ගෙම වූ ගේ දොර
අවශේෂ උළුඅහු, කුළුණු පාමුල
එලාගත් ඉටිකොල, පන් පැදුරු මත
දරු මුණුබුරන් සමඟ - පිනට ලද දෙයක් බුදිමින්….

ඒ මිනිස් සිත් වල
එක් විශ්වාසයක් ඇත
කඩා වැටුනු දෙවොල් තුල
තවමත් දෙවියන් වැඩ සිටින බව
තමනට පිහිට වන බව…

2011.08.17

Read more...

සිහිනයක්…..

>> Sunday, August 14, 2011

මේ අදුරු මැදියමේ
කොහේදෝ සිට ගලන
තෙතබරිත කොල පුසුඹ
සැනින් මට අඬගසයි…

වශී වී ඒ මඟට
හනික ඉවකර සුවඳ
ගොළු බසට අවනතව
හනි හනික පා නඟමි…

ගැටී කැබලිති දෙපා
ඇනී මළකඩ කම්බි
ඇදී ගොස් ගවු ගනන්
සිහිනෙන්ම නතර වෙමි…

දොලොස් වසකට පලමු
ඔබෙන් මා සමු ගැනුනු
පාළු සොහොනක් අසල
නතර විය ඒ සුවඳ…!

පිරුණු පස් ගොඩක් යට
දිරා ගිය ඇට කැබලි
ඔබ නොවේ යයි දනිමි
එහෙත්, සිහිවටනයකි….

අතීතේ සුවඳ පොද
ස්වප්නයක ඉවකරන්
මසැස් බැල්මෙන් මුදා
මනැස් බැල්මක් හෙලයි…

ඒ ලොවට ඉගිලෙන්ට
තවම අවසර නොමැත
මේ ලොවට ඇද තබන
එක් පෙකණි වැලක් ඇත…

සොඳුර !ඔබ නවතින්න
තව මදක් ඉවසන්න
මේ සොහොන් පිටියේම
දිනෙක මා සුව සොයමි..

එතෙක් මේ සුවඳ පොද
බිඳක් අහකට ගන්න
අඳුරු රැය කලඹවා
මා වෙතට නොම එන්න…

2011.08.03

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP