මගේ අලුත් බ්ලොග් එක.

>> Sunday, April 15, 2018

අවුරුදු ගානකින් කවි ලියවෙන්නේ නෑ. ඒ නිසා වෙන ලියවිල්ලක් පටන් ගත්තා. මේ තියෙන්නේ මගෙ අලුත් බ්ලොග් එක. කවි නෑ. කතා විතරයි. වෙලාව තියෙන වෙලාවට පොඩ්ඩක් ගොඩ වෙලා කියවල බලන්න. ස්තූතියි !

කාබුල් කවි.

>> Saturday, October 8, 2016

කාබුල් කවි.
සද වැක්කෙරෙනවා
හින්දුකුෂ් කන්දෙන් පහලට
පොලවට එන්න පෙර සද දිය
උරාගන්නවා දුහුවිලි දුම් දමන මහ පොලව
පල්ලියක යාදිනි ඇසුනත්
ගව් ගනනක් දුරට
වෙඩි හඩ ඇසෙන්නේ
ඊට තරමක් මෙහාට .......

කලු ගැහුනු නිල් බුර්කාවෙන් වැසුනු හදවත්
කාසි යදිනව මග දිගට
කිලිටි ඇෆ්ගානි ඩොලර්
එක දෙකක් වැටෙනව
පහලට
බොහොම ඉදහිට
ගොන් කරත්ත වගේම ලෑන්ඩ් කෲසර්
හිමිහිට ගාටන පාරට
කදුළු වහිනව 
වැස්සටත් වැඩිය.

කෙසග කාබුල් නදිය
නුවර මැදින් යන්නෙ ඕනවට එපාවට
සුදු හශීෂ් දුම් රොටු
ගං දෑලට ඉහලින් මිහිදුම් වෙනුවට
මනුස්සකමට වරම් අහිමි
හැල්මේ දුවන ආත්ම එක දෙකක
විදවිල්ල නිම කරනවා
නිතරම පුපුරණ
තලේබාන් බෝම්බ.

2016.10.07

තිලකා ඇවිත්

>> Monday, July 11, 2016

තිලකා ඇවිත්
ජීවිතය මල්ලක දාගෙන
අමු මිරිස් තුනපහ
සීනි සීයක්
ගංජ මිටියක්
...
කාසෙට හොද නෑ තමා
දොස්තර දැක්කොත් බැනුං
ඒ උනාට උන්නැහෙට තේරෙන්නෙ නෑ
අපේ ජීවිත වල දිගක් පලලක්
ලියන ලැයිස්තුවට පෙති
ෆාමසියෙන් අරං
බොනවට වඩා ගංජ හොදයි සුමනෙ
කැස්ස තුනී වෙනව
ඇස් වලට නිල් එලි එනව
කොහුමෝලෙ මුදලාලි
ජීවිතේ උකස් කරපු දෝනිගෙ ඇස්
ඒ නිල් එලිය අස්සෙ පේනව
එක පාරට ගැස්සිල
පියවි ලෝකෙට එනව
තිලකා ඇවිත්
ජීවිතේ මල්ලක දාගෙන

අප්පච්චි ගිහින් දුර ඈත

>> Friday, July 8, 2016

සුර බිළිදියන් එක්ක
හීනෙනුත් සෙල්ලම් කර
පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට
අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි
චූටි මැනිකේ නිදි අතර
අප්පච්චි ගිහින් දුර ඈත

කදුලු වැක්කෙරන ඇස් වලින්
දුවට සමුදෙන්න බැරි නිසා
චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා
අප්පච්චි ගිහින් දුර ඈත
දූගෙ මල් මල් කොට්ටය උඩ
අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති

අහස් වියනට උඩින්
තාරුකාවලට පහලින්
මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක
බලන බලන පැත්තේ
අප්පචිචිට දූවම පෙනේවි
ඔය මුවේ කිරි සුවද
නින්දෙදි හීනෙනුත් දැනේවි

පුංචි මල් ගවුමක් අන්දලා
වටයක් කැරකිලා හැඩ බලන්න
ඇවිදින බෝනික්කියක් එක්ක
තරගෙට නැටුමක් නටන්න
පුංචි බංඩියට කිති කවලා
තරගෙට හිනා වෙන්න
යස ඉසුරු හොයාගෙන
අප්පච්චි ගිහින් දුර ඈත

අයිය බබත් එක්ක සන්ඩු නොකර
පොඩි ගල්කැට කටේ නොදමා
අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන
අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා
රත්තරං දුව නිදියන්න

මේ ලෝකෙ කවුරුත් නොතකපු
අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු
රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව
කිංකිණි සිනාව
ආයෙත් දකින තුරු
අප්පච්චි බොන කදුළු
චූටි දුව තාම දන්නෙ නෑ.

අතීතයේ රලු සුලග

අතීතයේ රලු සුලගින්
අනාගතය වියැලෙන විට
ඔබත් මගෙන් දුරක ගිහින්
සිදු වූ සැම නොසිදු විලස
හිටිහැටියේ අසුරු සැනින්
ඔබ මට මුණ ගැසුනු විටක
මිහිරි මතක හද පාරයි
ඔබට නොදැනි යවුල් විලස

 
ගලක් වගේ රළු හදවත
මෙලෙක් කලේ ඔබම තමා
එසිත කඩා බිම පාගා
නික්ම ගියෙත් ඔබම තමා
යලි කුසුමක් නොපිපෙන්නට
මුල් උදුරා යවට හලා
සොහොන් බිමක ඇති තනිකම
උරුම කලෙත් ඔබම තමා

 
තරු එලියක පල කුමටද
සද පායන රෑ අහසට
අලුයම පිණි දිය කුමටද
දිය නොරදන හිල් බදුනට
රිදියෙන් කල ඔඩම් මොටද
රන් තැටියක මී බොන විට
මද පවනක රැලි කුමටද
සුලි සුලගක් ගැවසෙන විට

 
ලොවම අදුරු කලා නොවේ
දෙනෙත් අන්ද කලා මිසක්
තුන්සිත රිදවුවා නොවේ
හදවත ඉදිරුවා මිසක්
දිය බිම ඉහිරුවා නොවේ
දියට සිගිරි හැලූ මිසක්
ඔබ මට නොලැබුනා නොවේ
මාවද නැතිවුනා මිසක්

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP