අප්පච්චි ගිහින් දුර ඈත

>> Friday, July 8, 2016

සුර බිළිදියන් එක්ක
හීනෙනුත් සෙල්ලම් කර
පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට
අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි
චූටි මැනිකේ නිදි අතර
අප්පච්චි ගිහින් දුර ඈත

කදුලු වැක්කෙරන ඇස් වලින්
දුවට සමුදෙන්න බැරි නිසා
චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා
අප්පච්චි ගිහින් දුර ඈත
දූගෙ මල් මල් කොට්ටය උඩ
අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති

අහස් වියනට උඩින්
තාරුකාවලට පහලින්
මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක
බලන බලන පැත්තේ
අප්පචිචිට දූවම පෙනේවි
ඔය මුවේ කිරි සුවද
නින්දෙදි හීනෙනුත් දැනේවි

පුංචි මල් ගවුමක් අන්දලා
වටයක් කැරකිලා හැඩ බලන්න
ඇවිදින බෝනික්කියක් එක්ක
තරගෙට නැටුමක් නටන්න
පුංචි බංඩියට කිති කවලා
තරගෙට හිනා වෙන්න
යස ඉසුරු හොයාගෙන
අප්පච්චි ගිහින් දුර ඈත

අයිය බබත් එක්ක සන්ඩු නොකර
පොඩි ගල්කැට කටේ නොදමා
අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන
අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා
රත්තරං දුව නිදියන්න

මේ ලෝකෙ කවුරුත් නොතකපු
අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු
රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව
කිංකිණි සිනාව
ආයෙත් දකින තුරු
අප්පච්චි බොන කදුළු
චූටි දුව තාම දන්නෙ නෑ.

0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP